රත්මලාන ධර්මාරාමයේ තේවාවට පොලීසියෙන් තහනමක්


( රේඛා තරංගනී ෆොන්සේකා) රත්මලාන ධර්මාරාම පුරාණ රාජමහා විහාරයේ උදෑසන  තේවාව සතියක කාලයක සිට පොලිසිය විසින් පැනවු තහනමක් නිසා නවතා දැමීමට සිදුව ඇතැයිද එම තහනම නිසා අද  (29) වෙසක් පෝයදාද උදෑසන තේවාව නොපැවැත්වු බවද දායකයෝ  සහ ප්‍රදේශවාසීහු  පවසති.

මෙම  තත්වය නිසා බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වු සම්බුදු තෙමඟුලේ වතාවත් සිදු කිරීමට බාධා එල්ල වී ඇතැයි පවසන  ප්‍රදේශවාසීහු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුවබවද පවසති.

මේ සම්බන්ධයෙන් විමසීමට ධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති හිමියන් වන හේවෙස්සේ නන්දාරාම හිමියන්ව සම්බන්ධ කර ගත් අතර  උන්වහන්සේ පැවසුවේ ශ්‍රි ධර්මාරාම පුරාණ රජ මහ විහාරයේ සහ ඊට ආසන්නයේ පිහිටි ශ්‍රි පුෂ්පාරාම පුරාණ රජ මහා විහාරයේ තේවාව එකම වෙලාවකදී පැවැත්වීම හේතුවෙන් මෙම අවහිර කිරීම කර ඇති බවයි. කෙසේ වුවද සවස්කාලයේ තේවාව නොඩවා සිදුකරන බවත් එය විශාල ගැටළුවක් නොවන බවත් උන්වහන්සේ පැවසුහ.

ඉදිරියේදී රත්මලානේ සුනීත හිමියන්ද සමඟ ගොස් පොලිසීයේ ලොකු මහත්තයා සමඟ මේ සම්බන්ධයෙන් කතා කර යම් විසඳුමකට එන බවත් මෙය ඒ හැටි ගැටළුවක් කරගත යුතු නැති බවත් නන්දාරාම හිමියෝ පැවසුහ.

එමෙන්ම සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය ලබා ඇති අද දින සවස සුපුරුදු ලෙස තේවාව කරන බවද හේවෙස්සේ නන්දාරාම හිමියෝ  පැවසුහ.   
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ  විමසීමකට  අනුව ඒ පසුගිය සතියක කාලයේදී එක් පුද්ගලයෙකුගේ අපලයකට පාන්දර හතරට හේවිසි පුජාවක් සිදුකර ඇති බවත් එයට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ  පැමිණිල්ලකට අනුව එකී අවහිරයට තහනම් පැනවු බවත් පැවසීය.

එසේ පාන්දර හතරට එක් පුද්ගලයෙකු වෙනුවෙන් කළ ක්‍රියාවට එරෙහිව ලැබුණු පැමිණිල්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා මිස වෙසක් පොහොයදා හෝ විහාරස්ථානයේ වෙනත් ආගමික වතාවත් සඳහා සිදු කරන තේවාවන් තහනම් කිරීමට පොලිසිය කටයුතු කර නැතැයි ද පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
රටේ ප්‍රධාන ආගමික උත්සවයක් වූ වෙසක් පොහොය නිමිති කර ගනිමින් සිදු කරන තේවාවන් හේතුවක් නොමැතිව නවත්වන්නට යැයි කීමට පොලිසියට අයිතියක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.