රත්නපුරේ රාජ්‍ය ආයතනවල ඩෙංගු විමානවල්


(අජිත්ලාල් ශාන්තඋදය)


රත්නපුර මහ නගර බල ප්‍රදේශයේ සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන කිහිපයක ඩෙංගු රෝග කාරක මදුරුවන් ඝනත්වය ඉහළ මට්ටමක පවතින බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරිය අවධාරණය කරයි.

කීට විද්‍යා සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව වසංගත රෝග විද්‍යාඥවරිය පසුගිය 31දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවට දැනුම් දුන්නාය.

වරින්වර වැසි සහිත කාලගුණ තත්ත්වයන් පැවතීම නිසා ඉදිරියේ මෙම ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාහැකි බව ද ඇය පෙන්වා දුන්නාය. 

ඇහැළියගොඩ රෝහල් පරිශ්‍රය, ධර්මපාල මහ විද්‍යාලය සහ ජාතික පාසල් පරිශ්‍රය, කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථාන යන  පරිශ්‍රව වල රෝග කාරක මදුරු කීටයන් ඇති බව සමීක්‍ෂණයේදි අනාවරණය වු බව ද වසංගත රෝග විද්‍යාඥවරිය කීවාය.

රත්නපුර නගර සීමාවේ, පොලිස් ස්ථානය, අධ්‍යාපන මධ්‍යස්ථානය, රත්නපුර ඩිපෝව, රත්නපුර අධිකරණ සංකීර්ණය යන ස්ථාන අවට පරිශ්‍රවල ඩෙංග රෝග කාරක මදුරු කීටයන් සමීක්‍ෂණයේ දී හමුවු බව හෙළි කළා ය.

මෙම ස්ථාන හැකි ඉක්මනින් පිරිසිදු කිරිම අත්‍යවශ්‍ය බවත් පාසල් ළමයින් සහ මහජනතාව වැඩිපුර  ගැවසෙන ස්ථාන නිසා එය වහා කළයුතු බව අවධාරණය කළාය.