රත්නපුරේ පුස්තකාල-ළමා උද්‍යාන වහයි


(අජිත්ලාල් ශාන්තඋදය )

මේ මාසය අවසන් වනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත්  අද (12) රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාදක බලකා  කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මෙම කමිටුව රැස්විය.

අසනීප තත්ත්වයෙන් පසුවන සහ ඇවිද යාමට අපහසු අයට ඔවුන්ගේ නිවෙස්වලට ම ගොස් කෝවිඩ් මර්දන එන්නත ලබාදීමට ද එහිදී තීරණය වූ බවත් ඒ සඳහා ග්‍රාමීය කමිටුවල සහාය ලබාගැනීමටත් තීරණය කළ බව ද රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාධක බලකා  කමිටුවේ සභාපතිනී රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.

රත්නපුර දිස්ත්‍රික්යෙන් පිටවන පළාත් මායිම්වල පවතින මාර්ග බාධක සඳහා පොලිස් නිලධාරින්ගේ සහායට  හමුදා නිලධාරින් යෙදවීමට ද මෙහිදි තීරණ විය. ඒ අනුව පළාත් සංචරණ සීමා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරිමට ද තීරණය විය.

රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අවශ්‍යතා යැයි පවසමින් රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ පූර්ණ අවසරයකින් තොරව මුදල් හෝ සෞඛ්‍ය උපකරණ එකතු කරන පුද්ගලයන්ට හෝ සංවිධාන වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ද කමිටුව තීරණය කරනු ලැබීය. එවැනි මුදල් සහ උපකරණ එකතු කිරීමෙන් අක්‍රමිකතා සිදුවිය හැකි බව ද කමිටුවේ අදහස විය.

සබරගමු පලාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගෝ, රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ක්මාල් කෝනාර, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පණ්ඩිතරත්න, කෝවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ කටයුතු සඳහා සහාය වීමට පත්කර ඇති  රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකාරක බ්‍රිගේඩියර් ජේ.එම්.ආර්.එන්.කේ. ජයමාන්න යන මහත්ම මහත්මීන් ද, ආර්ක්‍ෂක අංශ සහ පොලිස් නිලධාරීන් ද, අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ද වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මෙම රැස්වීමට එක්ව සිටියහ