රත්නපුරයට සුළු ගංවතුර තත්වයක්


(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුරය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග කලූගඟේ සහ කුරුගඟේ ජල මට්ටම්  සීග‍්‍රයෙන් ඉහළ යෑමත් සමග ගංවතුර අවදානම් මට්ටම  පසුකර සුලූ ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුවගම ජල මාපකයේ සටහන් තහවුරු කරයි.
කලූ ගඟේ  ගංවතුර අවදානම්  මට්ටම වූ මීටර් 5.2 සීමාව අද පෙරවරු 11.45 වනවිට ඉක්මවා ගියේය.  

මේ අතර කුරුගඟේ ජල  මට්ටම පැය හතරක් තුළ අඩි දහතුන හමාරකින් ඉහළ ගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කුරුවිට නගරයේ කුරුගඟේ පාලම මත ජල මාපකයේ දත්ත හෙළිකරයි. පෙරවරු අට වනවිට අඩි පහ හමාරක් වූ කුරුගඟේ ජල මට්ටම දහවල්  12.30 වනවිට අඩි 19 පමණ විය.
කලූ සහ කුරු ගංගාවල ජල මට්ටම් තවමත් ඉහළ යමින් පවතී.
මේ අතර එරත්න ප‍්‍රදේශයේ දී කුරු ගඟේ ජල මට්ටම ඉහළ නැගීම මීට අවුරුදු විස්සකට පෙර ඇතිවූ තත්ත්වයකට සමාන වූ බව ප‍්‍රදේශවාසීන් කීවේය. පලාබද්දල ප‍්‍රදේශයේ දී කලූගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පලාබද්දල පාලමට උඩින් ජලය ගලාගිය බව ප‍්‍රදේශවාසීහූ කීහ. මෑතකදී කලූගගේ වැඩිම ජල මට්ටම පලාබද්දලදී දුටු බව ද ඔවුහු කීහ.