රත්නපුරට නායයෑම් අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු


(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායයාමේ අවදානම් ඇති බවට හඳුනාගත් ප‍්‍රදේශ ආශ‍්‍රිතව අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු ඉදිකර නායයාම් සම්බන්‍ධව පූර්ව දැනුම්දීමේ සන්නිවේදන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ එච්.එස්.මුදිත මංජුල මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ පූර්ණ උපදෙස් මත මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ සංඥා කුලූනු ඉදිකරන බව ද ඔහු කියයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායයාමේ අධි අවදානම් කලාප ආශ‍්‍රීතව මුලින්ම මෙම කුලූනු ඉදිකරන බව පැවසූ සහකාර අධ්‍යක්‍ෂවරයා ආපදා සම්බන්‍ධයෙන් කරනු ලබන පූර්ව අනතුරු ඇඟවීම් දැඩි සැලකිල්ලට ගන්නා ලෙස නායයාමේ ඉඩකඩ ඇති බවට හඳුනාගත් කලාප ආසන්නයේ පදිංචි මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හදිසි ආපදා තත්ත්වයකදී ගම් මට්ටමේ සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ද සෘජුව ආපදා සම්බන්‍ධයෙන් රාජකාරී කටයුතුවලට යොදවා ගන්නා බව ද ඒ මහතා කීවේ ය. මෙතෙක් ගම් මට්ටමින් ග‍්‍රාම නිලධාරීන්ගේ සේවය පමණක් සෘජුව යොදාගත් බව ද සහකාර අධ්‍යක්‍ෂවරයා කීවේ ය.