රත්නපුර පාරක් ගිලා බසී


කුරුවිට සිට පාතගම හරහා ගොරකඇල දක්වා වු කාපට් කළ අතුරු මාර්ගයේ කොටසක්  ගෝනපිටිය, තිරිවනාගල්ගොඩැල්ල ප්‍රදේශයේදී අඩි දහයක් පමණ පළලට සහ අඩි අටක් පමණ ගැඹුරට    ගිලා බැසීම නිසා මාර්ගයේ සියලූම වාහන ගමනාගමනය  ඇණ හිට ඇත.

මාර්ගය අසල පිහිටි මැණික් පතලකින් කණින ලද දෝනාවක් කඩා වැටීමෙන් අවස්ථා දෙකකදී   මාර්ගය මෙලෙස අවහිර විය.

මුලින්ම ඊයේ  පෙරවරුවේ අඩි තුනක විශ්කම්භයක් ඇති කොටසක්  කඩා වැටිණි.

පතල් අයිතිකරුවන් සහ වැඩ කරන්නන් එක්ව එය පස් සහ ගල්පුරවා වසා දමනු ලැබීය.

එහෙත් සවස්වරුවේ ඇද හැලූනු මහ වැසි නිසා දෙවනවරටද වැඩි කොටසක් කඩා වැටිනි.


දෝනා ගිය පතල දෙසට අඩි පනහකට වැඩි කොටසක් දිගටම ගිලා බැස ඇත.මාර්ගය ගිලා බැසීම නිසා පාතගම, බටේයාය, ඌරුපැලැව්ව, නොම්මර හතර වැනි ගම්වල ජනතාව විකල්ප මාර්ග ඔස්සේ වැඩිදුරක් ගෙවා ගම්වලට යායුතුය.

කොළඹ රත්නපුර සහ පානදුර රත්නපුර ප්‍රධාන මාර්ග දෙක යාකරන අතුරු මාර්ගයක් ලෙස මෙම ගිලා බැස ඇති කාපට්පාර භාවිතා කරනු ලැබීය. මගී බස් රථ ඇතුලූව දිනකට රථවාහන දහසකට වැඩි ප්‍රමාණයක් එහි එහා මෙහා ගියේය.

මෙම මාර්ගය සබරගමුව පළාත් සභාවට අයත් එකකි. ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ මුදල් වැයකර වසර එකහමාරකට පෙරදී මාර්ගය කාපට් කරනු ලැබිනි. කිලෝමීටරක් කාපට් කිරීමට රුපියල් කෝටි එකහමාරක් වැයකර තිබුණි.

පාරට දෝනා කැපු මැණික් පතලට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍ර නිකුත් කර තිබුණි. එහෙත් මාර්ගයට අඩි 33ක රක‍ෂිතයක් ඊට තැබිය යුතු බවටත් දෝනා මගින් හෝ එම රක‍ෂිත ප්‍රදේශයේ ඉල්ලම් කැණිම නොකළ යුතුයැයි කොන්දේසි පනවා තිබුනි.

බලපත්‍රකරු කම්කරුවන් යොදවා එම කොන්දේසි උල්ලංඝන කර පතල් කපා ඇතිබව මතුිපට ගිලා බැසීම් නිරීක‍ෂණය කිරීමෙන් පහැදිලිව පෙනුනි. පතලේ බලපත්‍රකරු කරුවිට පොලිසිය මගින් එදින රාත්‍රී අත්අඩංගුවට  ගෙන තිබුණි. මැණික් පතල මෙතෙක් තහනම් කර නැත.

දෝනා කැපූ පතලට ඈතින් පිහිටි පතල් තුනක් මීට මාසයකට පමණ පෙරදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් තහනම්කර තිබූනි. එහෙත් පාරට දැඩිලෙස හානිකළ මෙම මැණික් පතල කිසිදු බාධාවකින් තොරව කැණීම්කළ බව තහනම්කළ පතල්වල හවුල්කරුවෝ කීහ.