රත්තරන් පවුමක් 8000කින් ඉහළට


 (විනීතා එම් ගමගේ)
 
ආනයනික රත්තරන් සඳහා ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට සියයට 15 ක තීරු බද්දක් පනවා ඇති බැවින් රන්  පවුමක මිල රුපියල් 8000 කින් පමණ ඉහළ යා හැකි යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. 
 
මෙසේ රන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක  ව්‍යාජ රන් ආභරණ වෙළඳ  පොළට පැමිණීමේ ඉහළ ප‍්‍රවණතාවක් ඇති බැවින්  රන් ආභරණ මිල දී ගැනීමේ දී ප‍්‍රවේශම්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ලංකාදීපයට පැවැසීය.
 
එබැවින් රන් ආභරණ මිල දී ගැනීමේ දී නියමිත ප්රමිතිය ඇත්දැයි සොයා බලා මිල දී ගන්නැයි පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින බව කී ගම්මම්පිල මහතා ඒ වෙනුවෙන් අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ද කීය.  නියමිත ප‍්‍රමිතියෙන් යුත් රන් ආභරණ සඳහා අධිකාරිය මඟින් ලබා දෙන ප‍්‍රමිති සහතික මුද්‍රාව   තබා ඇති රන් ආභරණ පමණක් මිල දී ගන්නැයි පාරිභෝගික ජනතාවගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් ද කළේය.