(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (22) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට සිටින බව කියා සිටියේය.
එම සැකකරු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනා පදිංචි ගමේ පුද්ගලයෙකු බවත් දැනට බන්ධනාගාර ගත කරසිටින සැකකරුවන් 17 දෙනාගෙන් 15දෙනකු මහාධිකරණයට ඇප අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.විමලසිරි, උප පොලිස් පරීක්ෂක ජී.කේ.විමලරත්න, සැරයන් පී.එච්.චමින්ද, සැරයන් එස්.ජී.ප්‍රේමලාල්, කොස්තාපල් වයි.පි.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න, වලස්මුල්ල අඩවි වන නිලධාරී ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාරයන සැකකරුවෝ දාහත් දෙනා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිති.
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දාහත් දෙනා අගෝස්තු 5 වැනි දින දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

