(ඩී.ජී.සුගතපාල)
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දාහත් දෙනා තව දුරටත් මැයි මස 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (22) නියෝග කලේය .
මෙම සැකකරුවන්ගෙන් පහළොස් දෙනෙක් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් වන අතර දෙදෙනෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වෙති.
මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාරයන සැකකරුවෝ දාහත් දෙනා වෙති.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමග පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරියා මෙහිදි වැඩි දුර විමර්ශණ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙර දිනයේ නියෝග මත රජයේ රස පරික්ෂක වරයාවෙත අස්ථි කොටස් ගෙනයාමට අදාල වාර්තාව ඉදිරිපත් කලේය.
එයට අමතරව ජනවාරි 19 සිට 23 දක්වා කොමර්ෂල් බැංකුවේ ගාල්ල මහා විදියේ හා කොටුව ශාඛාවේ ඒ.ටී.එම් යන්ත්‍රවල ඇතුලත සහ පිටත දර්ශණ ඡායාරූප අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ පිහිටි කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරිවරයාට නියෝගයක් නිකුත් කලත් තවම එම දත්ත ලබාදි නොමැති බවද රජයේ නිඥවරයා කියා සිටියේය.
රජයේ නිතිඥවරයා වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පැහැරගත් දෙදෙනා අපරාධය සිදු කරන ලද ස්ථානයට සහ මළ සිරුරු වලස්මුල්ලට ගෙන යාම සඳහා පාවිච්චි කරන ලද කැබ් රථයේ පිටුපස කොටසේ දිගු හිස කෙස් තිබු බවට රජයේ රස පරික්ෂකවරයා වාර්තා කර තිබෙන නිසා එය මුදා හැරිමට විරුද්ධවන බවය.
මෙහිදි 6 සහ 12සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා කියා සිටියේ දකුණු පළාත් අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාහැර සියලුම නිලධාරින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.
7සිට 14 සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිවරිය කියා සිටියේ සියලුම සැකකරුවන්ට දක්වා ඇත්තේ එකම චෝදනාවක් බවය.
ඉකුත් ජනවාරි 23 දින රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

