(නාලක සංජීව දහනායක)
රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පාමින් රජයට එරෙහිව සීනිගම දේවාලයේ දී හෙට (11) පෙරවරුවේ දී දේව කන්නලව්වක් පවත්වා පොල් ගසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට අසාධාරණයක් මිස සාධාරණයක් සිදුවෙන්නේ නැහැ. බලය ගත්තු දවසේ ඉඳලාම රටේ ජාතික සම්පත් විකුණනවා. මේවාට එරෙහි වන පුද්ගලයන් සිරගත කරනවා. නමුත් රටට එරෙහි ප‍්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරිය කිසිඳු කරදයකින් තොරව එංගලන්තයට යනවා.
ඇය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාව පළාත් සභා මැතිවරණ පවත්වන තුරු මඟ බලාගෙන ඉන්නවා. ඒත් ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ නැහැ. මේ අසාධාරණකම්වලට රජයෙන් කිසිම සහනයක් බළාපොරොත්තු වෙන්න බැහැ.
එම නිසා මේ අසාධාරණකම් සම්බන්ධයෙන් දෙවියන්ට පැමිණිලි කරන්න අපි තීරණය කළා. ඒකාබද්ධ විපක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පක්‍ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් කලාකරුවන් ඇතුළු යහපාලන ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් සීනිගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක් සිදුකරන බවද කීය.