රටවල් තුනකට අලුතින් තානාපතිවරු


(තිළිණි ද සිල්වා)

ප්‍රංශය , ඇෆ්ඝනිස්ථානය සහ ජපානය යන රටවල් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් තිදෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියද , ඇෆ්ඝනිස්ථානයේ නව ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් (විශ්‍රාමික)  පියල් ද සිල්වා මහතා ද, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රමාල් සන්ජීව් ගුණසේකර මහතාද රජය විසින් පත් කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.

මෙම නව ශ්‍රී ලංකා තානාපතිවරු පත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම් මේ වන විට උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇති අතර අදාළ අනුමැතීන් ලැබුණු වහාම ඔවුන් එම තානාපති ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

ප්‍රංශයේ නව තානාපතිනිය වශයෙන් පත් කරනු ලැබ සිටින මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය 2008 වසරේ සිට 2013 දක්වා කාලය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය වශයෙන්ද , ඉන්පසුව එම වසරේදීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වශයෙන් පත්වීම් ලැබූ  අතර එම ධූරයට පත් පළමු කාන්තාවද ඇය වූවාය.

ඇෆ්ඝනිස්ථානයේ නව ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ( විශ්‍රාමික) පියල් ද සිල්වා මහතා ද 2019 ජනවාරි 01 වැනිදා සිට මේ වසරේ ජූලි 20 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ගනු ලැබුවේ අද්මිරාල් ධූරයට උසස්වීම් ලබමිනි.

අද්මිරාල් පියල් ද සිල්වා මහතා සිය සේවා කාලය තුළ වීර වික්‍රම විභූෂණ , රණ වික්‍රම පදක්කම , රණ සූර පදක්කම , විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම යන පදක්කම් වලින් පිදූ විශිෂ්ඨ නාවින හමුදා නිලධාරියෙකු වේ.

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීම ලැබ සිටින විශ්‍රමාල් සන්ජීව් ගුණසේකර මහතා ඇමෙරිකාවේ සහ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වේ.