රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි


(අංජුල මහික වීරරත්න)

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවත්, ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළ රටටත් ජනතාවටත් සහනයක් උදාකර ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම ඒක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.