රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත් වන බව කී ජනාධිපතිවරයා  ඒ වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් ගොඩ නගන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුව අමතමිනි. 

සමූපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

එසේම සමූපකාර සංවර්ධන උසස් පෙළ පාඨමාලාව (NVQ) හදාරනු ලැබුවන්ට සහතික පත් ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.