රට හතර වටේ


ගාල්ල

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු ගිංතොට පාලමෙන් ගඟට පැන හෝ වැටී ඇත්දැයි සෙවීමට මෙහෙයුම් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය පවසයි.  සඳුදා පාසල් ඇරී නිවසට නොපැමිණි ඔහුගේ පාසල් බෑගය හා සෙරෙප්පු දෙකක් පාලම අසළ තිබී සොයාගෙන ඇත.

 

දඹුල්ල

දඹුල්ල මූළික රෝහලේ ගිලන් රථ ගාලේ නතර කැර ඇති ගිලන්රථවලින් ඩීසල් ඇද පුද්ගලික බස්රථවලට අලෙවිකිරීමේ යෙදුණු ගිලන්රථ රියදුරකු සහ රිය සහායකයකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. ඩීසල් ලබා ගැනීමට පැමිණි පුද්ගලික බසයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

පුත්තලම

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි ගල් වැඩපළ හිමිකරුවකු කල්අඩිය දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

 

මොරටුව

දරුවාගේ අපලයට කිරි දානයක් දෙන්නට ආධාර එකතුකරන බව කියමින් නිවෙස්වලට ඇතුළු වී කොල්ලකෑමේ යෙදුණු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 200ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

 

අඟුලාන

හෙරොයින් නඩුවකට සිරගතවී සිට පැමිණ කේරළ ගංජා අළෙවි කරමින් සිටි දෙදරු මවක් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

 

ඇල්පිටිය

ඇල්පිටිය රෝහලේ සුළු සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වී ඇතැයි රෝගීහු මැසිවිලි නගති. සුළු සේවකයන් දින දෙකක් වැඩවර්ජනය කරන බව දැනගන්නට ඇත.