රට වැසීම ගැන රජය මුරණ්ඩු ස්ථාවරයක නෑ


(ඩයනා උදයංගනී)

මොනවා වුණත් රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබාදෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ලෝකයෙ කොවිඩ් වසංගතයට විසඳුම් ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරන බව කී ඇමතිවරයා මුළුමනින්ම රට වැසීම, ජනගහණයෙන් සියයට 40කට 50කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සහ යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත දී රට අර්ධ වශයෙන් විවෘත කිරීම එම ක්‍රමවේදයන් බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන්වෙනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් පැවසීය.

අවුරුදු එහ හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් අලහප්පෙරුම මහතා කීවේය. මෙම අවස්ථාවේ මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා නමුත් රජය අනම්‍ය තීරණයක නොමැති බව ද පැවසීය.

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ වසර එක හමාරක් තුළ අවස්ථා රාශියකදී රට වසා දැමූ අතර ඒ සෑම අවස්ථාවකට නොවිධිමත් ආර්ථිකයක් ඇති ජනතාව පීඩාවට පත්වූ බවයි.

ඔවුන්ට ආධාර දීමට රුපියල් කෝටි 8,000කට වැඩි මුදලක් වැයවූ බව කී ඇමතිවරයා රට ආර්ථික අපහසුතාවයක සිටින මෙවැනි මොහොතක අඛණ්ඩව සහනදීමේ ගැටලුවක් බවත්, දැනටත් රට තුළ පාසල් වැසීම, පළාත් සංචරණ සීමා, ආයතනවල කාර්ය මණ්ඩල සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන බව සඳහන් කළේය.