(චමිල් රුපසිංහ)
මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාගත හැකි බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනායක හිමියන්ගේ දැනුම් දීම මත මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ගුරුවරියකට දුරකතන මගින් කතා කර මල්වතු මහනාහිමියන්ගේ ආශීර්වාද මත ජපන් රටට පුද්ගලයින් යැවීමේ වැඩසසටහක් ක්‍රියාත්මක බවත් සීමිත පිරිසක් සඳහා එම අවස්ථාව ලැබෙන නිසා හැකි ඉක්මනින් මුදල් බැර කළ යුතු බවත් දැනුම් දී ඇත. ඒ අනුව අදාළ ගුරුවරිය අවස්ථා දෙකකදී එම ගිණුමට රුපියල් 95000 ක් බැර ඇත්තේ ඇගේ පුතා ජපන් රටට යැවීමේ අදහසිනි.
මේ සම්බන්ධ තොරතුරු මහනායක හිමියන්ට දැන ගන්නට ලැබීමෙන් පසු උන්වහන්සේ ඒ බව මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම්දී තිබේ.
තමන් වහන්සේ කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියා සඳහා අනුබල දීමක් සිදු නොකරන බැවින් අදාළ වංචාව සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස උන්වහන්සේ පොලීසියට දැනුම්දී ඇත.

