රට පුරා පොසොන් දන්සල් 4397 ක්


(ශිවා බණ්ඩාර)

මෙවර පොසොන් සතිය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් ආහාර දන්සල් 4397ක් පැවැත්වෙන බව සමස්ත ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරැන්ගේ සංගමයේ ලේකම් මහේන්ද  බාලසුරිය මහතා පවසයි.

ජුනි 25 වන දින වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල දන්සල් 4397ක් ලියාපදිංචි වි ඇත.

ඒ අතරින් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. 

ඒ දන්සල් 622ක් වශයෙනි.  පසුගිය වෙසක් සමයේ වර්ෂාවත් සමග අත්හිටුවන ලද දන්සල් මෙවර පැවැත්විමට කටයුතු යොදා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දන්සල් 375ක් ලියාපදිංචි වි ඇත.අනුරාධපුර  පුජා නගරය ආශ්‍රිතව දන්සල් 130ක්ද මිහින්තලේ පුජා නගරය ආශ්‍රිතව දන්සල් 35ක්ද අවුකන විජිතපුර සහ තන්තිරිමලේ පොසොන් කලාප ආශ්‍රිතවද දන්සැල් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 21කම දන්සල් ක්‍රියාත්මක කිරිමට ලියාපදිංචි වි ඇත.

පොලොන්නරැව දිස්ත්‍රික්කයේ සහ සෝමාවති,  තමන්කඩුව,  දිඹුලාගල පොසොන් කලාප ආශ්‍රිතව දන්සැල් 170ක්ද කුරැනැගල දිස්ත්‍රික්කයේ  වාරියපොල , පඩුවස්නුවර පොසොන් කලාප ආශ්‍රිතව දන්සැල් 60ක් සහ දිස්ත්‍රික්කය පුරා දන්සැල් 260ක්ද ක්‍රියාත්මක කෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දන්සැල් 124, මොනරාගල 174, මාතලේ 134, අම්පාර107, බදුල්ල 250, කලුතර 320,  රත්නපුර 521, මාතලේ 325, මහනුවර 231, ත්‍රිකුණාමලය 72, පුත්තලම 160, කොලඹ 178 , මඩකලපුව 6, කැගල්ල 173,  නුවරඑලිය 42, ගාල්ල 111 , වවුනියාව 35ක් ලෙසද දන්සල් ලියාපදිංචි කර ඇත.

මෙම දන්සැල් වල ආහාර ඇතුලු සෞඛ්‍යාරක්ෂිත බව පරික්ෂා කිරිමේ කටයුතු සදහා දිවයින පුරා පොසොන් සතිය තුල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ 1800 දෙනෙක් සේවයේ යෙදෙන බව මහේන්ද බාලසුරිය මහතා පවසයි.

ඊට අමතරව පොසොන් කලාප ආශ්‍රිතව දිවා රාත්‍රි  මහජන පරික්ෂකවරු සේවයේ යෙදේ.

මෙම ලියාපදිංචි දන්සල් වලට අමතරව බැතිමතුන්ගේ පහසුව පිනිස විහාරස්ථාන ආශ්‍රිතව දහම් පාසල්,වැඩිහිටි සමිති ආදිය මගින් ලියාපදිංචියකින් තොරව ඒ අවස්ථානුකුලව දන්සල් ක්‍රියාත්මක විමටද ඉඩ ඇති බව බාලසුරිය මහතා පවසයි.