රට ඉඳන් එන ලෙඩවලට වැට බඳින්න වරායට සෞඛ්‍ය කාර්යාලයක්


(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල දේශසීමා සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නව පස්මහල් කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය (Port Health Office) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නීරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබේ.

ජාත්‍යන්තර නෞකා පරීක්ෂා කිරීම, Free Pratique අවසරපත් සහ Ship Sanitation Certificates නිකුත් කිරීම, රෝග නිරීක්ෂණ හා වාහක පාලන (Vector Control) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ද මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයන් අතර වේ.

මෙම නව වරාය සෞඛ්‍ය කාර්යාලය ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද "නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය" යටතේ ඉදිකර ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 168 කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයකි.