රජිව් ගාන්ධිගේ ඝාතකයන් නිදහස් කරන්න’යි කළ ඉල්ලීම ඉවතට


ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වැරදිකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව කරන ලද ඉල්ලීමක් අද (10) නැවත වරක්  ප්‍රතික්ෂේප විය.
 
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. 
 
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අදාළ ලිපිය ප්‍රතික්ෂේප කළ අතර එය එරට අධිකරණයට යොමු කෙරුණි.
 
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මධ්‍යම ආණ්ඩුව ඉදිරිපත් කළ වාර්තාව ඉන්දීය  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගනු ලැබ තිබේ. 
 
හිටපු අගමැතිවරයාගේ ඝාතනය රටේ සිදු වූ අනෙකුත් අපරාධ කිසිවකටවත් සමාන කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවට දන්වා ඇත.
 
“හිටපු අගමැතිවරයාගේ ඝාතනය මහ මැතිවරණය මෙන්ම ප්‍රාන්ත කිහිපයක මැතිවරණ කල්දැමීමට හේතුවුණා. ඉන්දිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පීඩාකාරී තත්ත්වයකට පත් කරනු ලැබුවා” තමිල්නාඩු ප්‍රාන්තයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මධ්‍යම ආණ්ඩුව තවදුරටත් සඳහන් කර ඇත. 
 
‘වැරැදිකරුවන් නිදහස් කිරීම අවදානම් සහ බිහිසුණු ක්‍රියාවක් බවත් එමගින් අනාගතයේදී අපරාධකරුවන්ට අවස්ථාවක් ලබාදෙන බවත් තමිල්නාඩු ආණ්ඩුවට පැහැදිලි කර ඇති මධ්‍යම ආණ්ඩුව වැරැදිකරුවන් නිදහස් කළහොත් එය ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වනු ඇතැයි ද අවධාරණය කර ඇත.
 
මේ ආකාරයෙන් තමිල්නාඩු ප්‍රාන්තය හිටපු  අගමැති රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කරන්නැයි ඉල්ලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයටත් වරින් වර පත්වූ මධ්‍යම ආණ්ඩුවලටත් ලිපි යැවූ අතර ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
  
අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව අප්‍රේල් 18 වැනි දා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවට දැනුම් දුන් බව ද මධ්‍යම ආණ්ඩුව  ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. වැරදිකරුවන් හත් දෙනා වසර 27ක් මුළුල්ලේ සිරදඬුවම් විදිති.
 
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට චෝදනා ලැබු වැරදිකරුවන් වූ සියලු දෙනා නිදහස් කිරීමට රජයේ අනුමැතිය අවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථා මඩුල්ල 2015 වසරේදී ප්‍රකාශ කළේය.
 
 
 
එන්.ඩී.ටීවී/ද හින්දු 
 
055