(අංජුල මහික වීරරත්න)
රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී ගැනීමට පියවර නොගන්නා ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් හා වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛන ගත කිරීමට රජය තීරණය කර තිබේ.
කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මගින් මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කර ඇත.
ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය සහන පොලී අනුපාතයක් මත රාජ්‍ය හා වානිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එමෙන්ම වී මිල දී ගැනීම සඳහා මේ වනවිට ගොවීන්ට ඉතාමත් වාසිදායක වන පරිදි අවම වී මිල ගණන් ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.
එසේ තිබියදී රජය අනුමත ණය මුදල් ලබාගෙන ගොවි ජනතාවගේ වී තොග රජය විසින් නියම කර ඇති අවම මිල ගණන් යටතේ නොගන්නේ නම් ඔවුන් අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

