රජයේ විධායක නිලධරයෝ වර්ජනයකට සැරසෙති


විනීතා එම් ගමගේ  

                                                  
රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට බලපාන ප‍්‍රධාන ගැටලූ විසඳීමට රජය වහා කටයුතු නොකළ හොත් ඉදිරි සති කිහිපය තුළ වර්ජනයකට යාමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත.


තම ප‍්‍රශ්න පිළිබඳව වැටුප් කොමිසම සමඟ දෙවතාවක් සාකච්ඡා කළත් විසඳුමක් නොලද බැවින් වර්ජන කි‍්‍රයාමාර්ගයකට යාමට තම සාමාජිකත්වය බල කර සිටින බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ ප‍්‍රධාන ලේකම් එච් ඒ එල් උදයසිරි මහතා කොළඹ 7, වෘත්තිකයන්ගේ සංගමයේ අද (4) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. 


මේ  වනවිට රාජ්‍ය වැටුප් ප‍්‍රතිපත්තියට පටහැනිව නීති කේෂත‍්‍රයට පමණක් වැඩිකර ඇති වැටුප් හා දීමනා නිසා රාජ්‍ය සේවයේ ඇති වී ඇති වැටුප් විෂමතාවය ඉවත් කරදීම තම පළමුවන ඉල්ලීම වන බව ද උදයසිරි මහතා පැවැසීය. 


ඔවුන්ට වැඩිකර ඇති සියයට 300 ක වැටුප් වැඩිවීම හා ඔවුනට පමණක්  ලබා දී ඇති රුපියල් ලක්ෂයක ප‍්‍රවාහන දීමනාව ද 25000 ක රියැදුරු දීමනාවද රජයේ සමාන්තර සේවාවල සියලූ විධායක නිලධාරින්ට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය. 


එමෙන්ම රජයේ නිලධාරින්ගේ විශ‍්‍රාම වැටුප කප්පාදු කිරීම නතර කරන ලෙසත් ඉකුත් අපේ‍්‍රල් පළමු වැනි දා සිට පනවා ඇති බදු ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින බව ද උදයසිරි මහතා කීය. 


මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මෙසේ ද කියා සිටියේය. 


‘‘වැටුප් කොමිසමේ  නිර්දේශ අනුව සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සැකසෙන්නේ නැත්නම් වාර්ෂිකව කෝටි 60 බැගින් වියදම් කරමින් මේ කොමිසම පවත්වාගෙන යාමෙන් වැඩක් නැහැ. මේ ගැන කථා කරද්දී වැටුප් කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට කටඋත්තර නැතිව ගියා. නීති කෙෂ‍්ත‍්‍රයේ වැටුප් වැඩි කිරීමට ඔවුන් නිර්දේශ දීල තියෙනවා.


අපි මේ ගැන සමස්ත රාජ්‍ය සේවයම දැනුම්වත් කරල තියෙනවා. ආණ්ඩුවේ අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප අහෝසි කරල තියෙනවා. ඉදිරියේ දී දැනට විශ‍්‍රාම වැටුප් ලබන සේවකයින්ගේ විශ‍්‍රාම වැටුපත් අහෝසි කරන අවදානමක් තිබෙනවා. ඒ ගැන අවධානයෙන් සිටින ලෙස අපි රජයේ සේවකයන්ගෙන් ඉල්ලනවා. 


රාජ්‍ය සේවයට ඇති එකම ආකර්ෂණය විශ‍්‍රාම වැටුපයි. අද රාජ්‍ය සේවයට බැඳෙන සේවකයා විශ‍්‍රාම වැටුප් ලබන්නේ තව අවුරුදු 30 කින්. එතකොට විශ‍්‍රාම වැටුප ගෙවන්න බැරි තරමට රට අගාධයකට වැටිලා තියේවි කියන අදහස නිසාද මේ විශ‍්‍රාම වැටුප නොගෙවන්නේ. අපි ඉල්ලන්නේ රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප ගෙවන්න කියලයි. 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මත ගෙනා බදු පනතට අපි විරුද්ධයි. එයට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියා. එහි සමහර වගන්ති වෙනුවෙන් ජනමත විචාරණයකට යායුතු බව අධිකරණය කිව්වා. ආණ්ඩුව කළේ ජනමත විචාරණය මඟ අරින්න ඒ  වගන්ති අයින් කරල පනත ගෙන එන එකයි. 


මේ පනතට එරෙහිව අපි කටයුතු කළත් දේශපාලන  පක්ෂ ඒ තරම් උනන්දු වුණේ නැහැ. නමුත් දැන් මන්ත‍්‍රීලාගේ වැටුපෙනුත් බදු කැපෙද්දි බොහොම උනන්දුවෙන් හොයනවා. අපි ඉල්ලන්නේ රාජ්‍ය සේවයට බදු ඉවත් කරන ලෙසයි. 


මේ ගැන අවසාන තීරණය ගන්න අපි සිකුරාදා එනම් අටවැනිදා කොළඹදී රැස්වෙනවා. අපි රැස්වී තීරණය කරන්නේ වෘත්තිය ක‍්‍රියාමාර්ගය ගන්නේ කොහොමද කියන එකයි. මේ එළැඹ ඇති මාසය තුළ ඉල්ලීම් නොදුන්නොත් වෘත්තිය ක‍්‍රීයාමාර්ගයකට යනවා. රටේ සියලූම අංශයන් හි විධායක නිලධාරින් මේ වර්ජනයට සහභාගී වේවි. ’’ යැයි ද උදයසිරි මහතා පැවැසීය.