රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති


මුදිතා දයානන්ද 
 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි.
 
රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් මේ වන විට නුගේගොඩදී පැවැත්වෙයි.
 
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ රජයේ මෙම විසඳුමට තම සංගමය එකඟ නොවන බවයි. මෙම යෝජනාවලියට එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද ප්‍රකාශ කළේය.
 
ඉදිරි සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමන් ඉදිරිපත් නොකළ හොත් ලබන හය වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දෙමාපිය සංසදය පවසයි.
 
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිය කතාව අතරතුර රජයේ නිවේදනය ඉරා දැමීය. 
 
මෙම සාකච්ඡාවට සයිටම් විරෝධී සිවිල් සංවිධාන නියෝජිතයෝ ද, දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද සහභාගී වී සිටිති. ආණ්ඩුවේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ අතර සිටියි.