රජයේ ඉඩම් අක්කර 62,500 ක් උක් වගාවකට සිංගප්පූරු සමාගමකට දීලා - ජවිපෙ මන්ත්‍රී සමන්ත



(සිරාජ් හසීම්)

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇති රජයේ ඉඩම් අක්කර 62 500ක් උක් වගා කිරීමට සිංගප්පූරුවේ සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙහි කර්මාන්තශාලාව ඉදිකිරීම සදහා සැලසුම් කර සිටින හෙක්ටයාර 149.2ක ඉඩම පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පාරිසරික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයක් බවත් ඒ මහතා කියයි.

මෙකී කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර සිටින මෙම ඉඩම බදුල්ල දිස්ත්‍රීක්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙහිගම හා ඇකිරියංකුඹර ගම්මානවල අක්කර 149.3ක ඉඩමක් බවත් පාරිසරික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම ඉඩම මාදුරුඔය ඉහත්තෑවේ ජලපෝෂක ප්‍රදේශයක් බවත් දුර්ලබ ඝනයේ ඖෂධ පැළැටි රැසක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවත් විද්‍යාරත්න මහතා කියයි.

මේ හේතුව මත පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් මෙම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණද මෙම ඉඩම්වල  භාරකාරීත්වය හිමි මහවැලි අධිකාරිය විසින් මෙකී කර්මාන්තශාලාව ඉදිකිරීම සදහා අවසර දී තිබෙන බවද විද්‍යාරත්න මහතා පවසයි.
එම සමාගමට මෙම ඉඩම් ලබාදීමට පසුගිය පෙබරවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ මහතා කියයි.

මෙකී ව්‍යාපෘතියෙන් ලැබෙන ලාබයෙන් 88%ක් සිංගප්පූරු සමාගමටත්,10%ක් මෙරට හවුල්කාර සමාගමකටත්, 2%ක් මහවැලි අධිකාරිය හා ගොවීන් අතරේත් බෙදෙන බවත් මෙහි පුළුල් වාසිය සිංගප්පූරු සමාගමට බවත් ඒ මහතා පවසයි.