රජයට එරෙහිව නුවරඑළියේ උද්ඝෝෂණයක්



(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)

රට ඇමරිකන් කොළණියක් බවට පත්කරන ගිවිසුම් වහාම හකුලා ගන්නා ලෙස හා අන්තවාදී ත්‍රස්ත කල්ලිවලට උදව් කරන ලද මුස්ලිම් දේශපාලඥයන් වහාම අත්අඩංතුවට ගන්නා ලෙස රජයට බල කරමින් නුවරඑළිය නගරයේදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විණි.           

       
රජයට එරෙහි විවිධ සටන් පාඨ ලියන ලද බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වූ  පිරිස් මෙසේ උද්ඝෝෂණයක නියැලිණි.    

 සාමකාමී මෙන්ම ආර්ථික අතින් ස්ථාවර තත්වයක පැවැති මේ රට 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය මෙරට ජාතික ආරක්ෂාව හා රටේ සුරක්ෂිතතාවය අහිමි කර ඇති බව මෙම විරෝධතාවයට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස මහතා පැවසීය.           

මේ රට මේවනවිට ඇමරිකන් කොළණියක් බවට පත් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කොට ඇති බවත්, එම ඇමැරිකන් ගිවිසුම් හේතුවෙන් මේ රටේ ගොවීන්ගේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ගොවීන්ට අහිමිවන බවද, වහාම එකී ඇමරිකන් ගිවිසුම් අහෝසි කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවද මෙහෙදී ඒ මහතා කීය.                                         
ජාතික නිදහස් පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් සංවිධානයකර තිබූ මෙම විරෝධතාවයට මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය හා ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් කුමාර යන මහත්වරු හා එම පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්, ක්‍රියාකාරී පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ.