චමිල් රුපසිංහ
වත්මන් රජය පමණට වඩා ජාත්‍යන්තර සංවිධානවල බලපෑම්වලට යටත්වූ බවක් පෙනෙන්නට තිබෙන බවත්, එය රටට අහිතකර බවත් ආනමඩුවේ ධම්මධස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ කීහ.
අනුනාහිමියන් ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමැති ජී ඇල් පීරිස් මහතා අනුනාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
අනුනාහිමියෝ මෙසේද කීහ.
‘අපි කළ යුත්තේ ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ,මානව හිමිකම් කොමිසම ආදි ආයතනත් ඒකාබද්ධ කරගෙන තමයි යන්න ඕනෑ. නමුත් ඒ නිසා අපේ ස්වාධිනත්වයන් නැති වෙලා යනවනම් රටක් ගෙනයාමට නොහැකියි.
පසු ගිය රජයට නොයෙක් විදිහේ චෝදනා ඉදිරිපත් කර, මේ රජය බලයට පත්වූ පසු පමනට වඩා අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා යන ගතියක් පේනව. ඒකෙන් තමා මේ රටට අහිතකර.
යුද්ධයකදි මනුස්ස ඝාතන වැලැක්විය නොහැකියි. මම ඒව හොදයි කියනවා නොවෙයි. නමුත් යුද්ධයකදි එදත් අදත් කවදත් දෙපැත්තෙම පිරිස බරපතල විදිහට මරණයට පත්වෙනවා. ඒ වගේම අත්පා අහිමි වෙලා ආබාධ තත්ත්වයට පත්වෙනවා. ඉතිහාසය පුරාම යුද්ධ තිබුණා. යුද්ධය නිසා කිසියම් ජයග්‍රහණයක් අප රට ලබලා ඉදිරියට යනකොටම ඒ රජය පෙරලා දැමුවා. සැබැතත්වය ඒකයි.
ඉන් පස්සේ මේ රජය ජත්‍යන්තර මානව හිමිකම් කොමිසම් ආදි අපේ රටේ සියලුම දේ ස්වාධිනත්වය නැති කරල කටයුතු කරන්නට යෑමෙන් බරපතල ගැටලුවක් දේශපාලනික වශයෙන් සිදුවෙමින් පවතිනවා. නමුත් මහජනතාව කෙසේ හෝ මේ දේශපාලන රාමුවට එතරම් පක්ෂපාතිකමක් නැති බව පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා. ‘‘