රක්නා ලංකා අවි නැතිවීමේ වාර්තාවට නීතිපතිගෙන් උත්තර නෑ


රක්නා ලංකා ආරක්ෂක සේවා සමාගම බාරයේ තිබියදී නැතිවූ අවි ගැන පරීක්ෂණ හමාරවී නීතිපතිට එම වාර්තාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් පිළිතුරක් ලැබී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට වාර්තා කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව බාරයේ තිබූ අවි නැතිවීමක් ගැන කෝට්ටේ මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ගමගේ දයාරත්න කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ ඇරඹූ බව රහස් පොලිසිය උසාවියට දැන්වීය.

පරීක්ෂණ රහස් පොලිසිය බාරගැනීමෙන් පසු රක්නා ලංකා ආරක්ෂක සේවය කොළඹ බණ්ඩාරනායක සමරුහලේ පවත්වාගෙන ගිය අවි ගබඩාව ගැනද පරීක්ෂණ පවත්වා පසුගිය මාර්තු 11 හා අප්‍රේල් 20 වාර්තාව උපදෙස් පතා නීතිපතිට නිකුත් කළ බවද කියා සිටියේය.

නීතිපති වාර්තා මෙතෙක් ලැබී නැතැයි රහස් පොලිසිය පැවසීය. නඩුව නොවැම්බර් 16 වැනිදාට කල් තැබිණි.