රංජන්ට නඩු දැමීමේ හැකියාව සොයා බලන්න’යි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
 
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ ඔහු විසින් සිදු කළා වූ ප්‍රකාශ විමර්ශනය කර  සොයා බලා  අධිකරණයට දැනුම් දෙන්නැයි ‍ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළේය.
 
රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාගල්කන්දේ සුදත්ත හිමි, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ නඩු දෙකක් අද (23) සිසිර ද අබෘ, ප්‍රියන්න ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වර්ණකුලසූරිය මහතා අධිකරණයේ කරුණු දක්වමින් පැවසුවේ රන්ජන් රාමනායක මහතා අඛණ්ඩවම අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ පළ කරමින් සිටින බවයි.
 
එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වීඩියෝ පටය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි.
 
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද අබෘ මහතා රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට කියා සිටියේ එම වීඩියෝ පටයෙන් පිටපතක් ලබාගෙන එය අධ්‍යයනය කර අධිකරණයට අපහාස කිරීමට අදාළ චෝදනා ගොනු කිරීමට ඇති ඉඩකඩ  පිළිබඳව සොයා බලන ලෙසයි.
 
නඩුව ජුනි හතර වැනි දා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට වැඩිදුර කරුණු දක්වන මෙන්ද අදාළ පාර්ශ්වවලට නියෝග කළේය.