රංජන්ට එරෙහි නඩුවේ විද්‍යුත් මාධ්‍ය සාක්කි ඉල්ලයි


(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බවට සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශය ඇතුලත් ශ‍්‍රව්‍ය දෘශ්‍යපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතනයට අද(14) නියම කළේය.

අදාළ ශ‍්‍රව්‍ය දෘශ්‍ය පට ලබන ජනවාරී මස 15 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසියකට අනුව මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී  නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අනිල් ගුණරත්න, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ‍්‍රාමික හමුදා නිලධාරීයකු වන සුනිල් පෙරේරා මහතා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.