රංජන්ට එරෙහි නඩු විභාගය කල්යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජූලි මස 29 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
 
මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබුණද  විජිත් මලල්ගොඩ විනිසුරුවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක විමර්ශන කටයුතුවලට සහභාගි වන හෙයින් මෙම නඩුවේ විභාගය ජුලි මස  29 වනදාට කල් දමන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන්  විනිසුරු මඩුල්ල අවවාද කළේය.

එමෙන්ම විත්තියේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුළු සාක්ෂිකරුවන් පිරිසකට ද එදින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණය මගින් නැවත සිතාසි නිකුත් කළේය.

ඒ අනුව නඩු විභාගය ජූලි මස 29 දා සිට අගෝස්තු මස 02 වන දක්වා විභාගයට ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. 
 
විශාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබේ.

ඉකුත් අගෝස්තු මස 21 වනදා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්වලට අදහස් පළ කළ රන්ජන් රාමනායක අමාත්‍යවරයා මෙරට සිටින නීතීඥවරුන් සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් වශයෙන් හඳුන්වා දී තිබුණි.
 
මෙම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක අමාත්‍යවරයා අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇතැයිද ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයිද පැමිණිලිකරුවන් ප්‍රකාශ කර තිබුණි.