(අකිල බද්දෙවිතාන)
ප්‍රවීන රංගන ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත.
හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් සහෝදරයාය.
මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ ඔස්ටින් අයියා නමැති චරිතය රග දක්වන ඔහු ‘අලුත් හොරෙක් ඕනෑ‘ නම් වේදිකා නාට්‍යය රඟ දැක්වීමට සිංගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර සිංගප්පුරු ගුවන්තොටුපොළේ දී රෝගාතුර වීම නිසා එහි රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියේය.
පුවත්පත් කලාවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන සේනක ටයිටස් ඇන්තනි මහතා සිය සහෝදරයාගේ ඉල්ලීම මත ‘ඇසළ කළුවර‘ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පිවිසියේය. පසුව අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට ද මෑතකදී තිරගත වුණු ජැක්සන් ඇන්තනි මහතාගේ ‘ඇඩ්‍රස් නෑ‘ චිත්‍රපටයට ද ඔහු රංගනයෙන් දායක විය.


