යොවුන් දේශගුණික ක්‍රියාකාරී සංසදය රැස්වෙයි


(අංජුල මහික වීරරත්න)

 "ජාතික යොවුන් දේශගුණික ක්‍රියාකාරී සංසදය" නිල වශයෙන් දියත් කිරීමේ අාරම්භක උළෙල  කොළඹ වෝටර්ස් එජ් හිදී පැවැත්විණි.

දේශගුණික විපර්යාස හමුවේ ඇතිවෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා  තාරුණ්‍ය සවිබල ගැන්වීම සහ  තාරුණ්‍යයේ අදහස් බෙදා ගැනීමට වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ඇරැඹූ බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

 වර්තමානයේ ගෝලීය වශයෙන් උද්ගතවී ඇති දේශගුණික විපර්යාස නිසා පරිසරයට,ජීවීන්ට,පරිසර පද්ධති වලට වන බලපෑම සහ මෙම විපර්යාස හේතුවෙන් සෑම වසරකම විශාල මුදලක් අහිමි වන අතර පවතින තත්වය පිළිබඳව තරුණ පරපුර දැනුවත් කරමින් මෙම නව සංසදය හරහා අලුත් ව්‍යාපෘති රට පුරා  ව්‍යාප්ත කල යුතු බවද රුවන් විජයවර්ධන මහතා කීය.

 ජාතික තරුණ සේවා සභාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය⁣ට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ   මහත්වරු ද සහභාගී වූහ.