යුරෝපා නිරීක්ෂකයන්ගේ මැතිවරණය ගැන වාර්තාවක්


ශ්‍රී ලංකාවේ මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද දායකයින්ට සිය අභිමතය පරිදි ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙමින් විධිමත්ව පැවැත්වූ බව යුරෝපා සංගමය පවසයි.

එසේම මැතිවරණ ප‍්‍රචාරණය පිළිබඳ දැඩි නීති සහිත වූ, අව්‍යාජ මනා පරිපාලනයකින් යුතු සාමකාමී මැතිවරණයක් යැයි ද මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධාන නීරීක්ෂක ක‍්‍රිස්ටියන් ප්‍රෙඩා මහතා සිය මූලික වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ මැතිවරණ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී භාවයෙන් යුතුව මැතිවරණය පැවැත්වීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධාන නීරීක්ෂක ක‍්‍රිස්ටියන් ප්‍රෙඩා මහතා ප‍්‍රශංසාව පළ කර ඇති බවද සඳහන් වේ. විශේෂයෙන්ම නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලදී මැතිවරණ නීති දැඩිව ක‍්‍රියාත්මක කළ බවද ඔහු පෙන්වා දී ඇත.

තවද පැවති මැතිවරණය තුළදී ඡන්දය ප‍්‍රකාශ කීරීම හෝ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නෛතික බාධාවක් නොමැති වුවද කාන්තා සහභාගීත්වය අපේක්ෂකයින්ගෙන් 9%ක් ලෙස ඉතා පහළ මට්ටමක පැවති බව ද යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක්වූ බව යුරෝපා සංගමය සිය නිවේදනයේ සඳහන් කර ඇත.