යුද සමයේ අතුරුදන් වු පුද්ගලයින් 500ක ලැයිස්තුවක්


( තිළිණි ද සිල්වා )


මෙරට අවසන් යුද ගැටුම් පැවති සමයේදී බලහත්කාරයෙන් අතුරුදන් වී ඇතැයි කියන පුද්ගලයින් 500 දෙනෙකු ගේ ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් නිලවශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලැබ  ඇත.


මෙලෙස නම් ලැයිස්තුවක් ප‍්‍රසිද්ධ කරනු ලැබ ඇත්තේ  බලහත්කාරයෙන් අතුරුදන්වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව විසිනි.


බලහත්කාරයෙන් අතුරුදන් කෙරී ඇතැයි කියන මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉතාම කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.


මෙරටදී බලහත්කාරයෙන් අතුරුදන් වූවා යැයි කියන  පුද්ගලයින් පිළිබඳ නම් ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරමින් බලහත්කාරයෙන් අතුරුදන්වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතිනි සුඑලා ජනීනා කියා සිටියේ එක් හදිසි ක‍්‍රියාවක් නිසා අතුරුදන් වූ පුද්ගලයෙකු ගේ පවුලේ ඥාතීන් සහ මිතුරන් සිය ජීවිතයේ සෑම විනාඩියකටම දුක් විඳිනා බවයි.


එබැවින් මෙලෙස අසාධාරණයට ලක් වූ පුද්ගලයින් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට රජයේ බලධාරීන් වහා මැදිහත් විය යුතු යැයි ද එම කමිටු සභාපතිනිය සඳහන් කළාය.


එසේම ඔවුන්ට එම යුක්තිය ඉටුවන තෙක් ඔවුන්ගේ පවුලේ අයද ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවද ඇය කියා සිටින්නීය.