යුද අපරාධ උගුලෙන් ලංකාව බේරෙයි?


එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයට සහාය දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කරන බවත්,  ශ්‍රී ලංකාව සිදු වූවායි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් කළ යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදය කියයි.

ශ්‍රී ලංකාව ගැන අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වනැයි එක්සත් ජාතීන්ගේ මානව හමිකම් කවුන්සිලයට මුලින් යෝජනාවක් ගෙන ආවේය.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයත් අනෙකුත් ප‍්‍රධාන පාර්ශ්වත් හා එක්වෙමින් යෝජනාවලියක් ඉදිරිපත් කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවැති සැසියට ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර යුද්ධය පැවැති අවාසන සමයේදී සිදුවූවායි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුය යන්න එහි අවසාන යෝජනාව විය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කරන බවට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  පොරොන්දු වූ බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පැවැසුවාය.

නව යෝජනාවේ අඩංගු කරුණු මොනවාද යන්න මෙතෙක් අනාවරණය නොවූ නමුදු එය  සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ආශ්‍රීතව සකස් වනු ඇතැයි නීෂා බිස්වාල ප‍්‍රකාශ කර ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා පළුඳු වී තිබූ  බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ශ්‍රී ලංකා රජයේ හමුදාවලටත්, එල්.ටී.ටී.ඊ සංවිධානයටත් මානව හිමිකම් උල්ලංඝණය කළ බවටත්,  යුද අපරාධ සිදුකළ බවටත් චෝදනා එල්ල වූ අතර යුද්ධය පැවැති අවසාන මාස කිහිපයේදී උතුරේ දෙමළ ජාතිකයන් 40,000කට ආසන්න පිරිසක් මියගිය බව එක්සත් ජනපද වාර්තාවක දැක්විණි. 

යුද අපරාධ සිදු වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලූවද හිටපු ජනපතිවරයා එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ බවත්,  ඔහු විසින් කි‍්‍රයාත්මක කළ යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිවලට මූල්‍ය ආධාර ලබාගැනීමටත් ජාත්‍යන්තරය ඉදිරියේ කටයුතු කිරීමේදී සහය ලබාගැනීමටත් චීනය සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ද කියති.

හිටපු ජනපතිවරයාගේ පාලන කාලයේදී ශ්‍රී ලංකාව චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා, ඇමෙරිකා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර මිත‍්‍රත්තවය පළුඳු වූ බව ද හින්දු වෙබ් අඩවි වාර්තාව පෙන්වාදෙයි.

ජනවාරි මාසයේ පැවැති ජනපතිවරණයෙන් සියල්ලන්ම පුදුමයට පත්කරමින් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයලැබූ අතර ඔහු චීනය සමඟ පැවැති දැඩි සබඳතාවලින් ඈත් වෙමින් සිදු වූවායි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට එකඟත්වය පළ කළේය.

(ද හින්දු ඇසුරෙනි)