(යොහාන් භාසුර)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂක රාජකාරියේ සිටියදී වෙනත් නිලධාරියකුගේ ටී56 ගිනිඅවිය සොරකම් කළේ යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයා ඔහුත් සමඟ පොලිස් මුරපොලේ රාජකාරි කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකා වෙනත් නිලධාරියකුගේ ගිනිඅවිය සූක්‍ෂම ලෙස සොරකම් කර ඇති බවත් ගාල්ල, බද්දේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර පොලිස් නිලධාරියා ටී56 ගිනිඅවිය බද්දේගම ප‍්‍රදේශයට ගෙන ගොස් වලදමා තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.
ඔහුත් සමඟ බද්දේගම ප‍්‍රදේශයේ ඔහුගේ මිතුරන් වන වයස 30 ට අඩු පුද්ගලයන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් බවත් ඒ අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු සිටින බවත් පොලිසිය කියයි.
අඟුණකොළපැලැස්ස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිද්ධිය වූ දිනට පසු දිනම පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පුද්ගලයන් සිවුදෙනා සහ ගිනිඅවිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

