යාලට කුණු දැමීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්


විනීතා එම් ගමගේ
 
පළාත් පාලන ආයතනවලට අයත් කැළිකසල වනෝද්‍යානවලට මුදා හැරීම නවතාලීමට ස්ථීර වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නැයි  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇතැයි එම අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 
 

විශේෂයෙන් යාල  වනෝද්‍යානයට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් කැලිකසල බැහැරකිරීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බැවින් එම කසල බැහැර කිරීම වහා නවත්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන් බව ද එම නිලධාරියා සඳහන් කළේය. 
 
මේ වනවිට රක්ෂිත හා වනාන්තර කිහිපයකටම කැළිකසළ බැහැර කිරීම් පිළිබඳව වාර්තා වී ඇතැයි කී එම නිලධාරියා මේ තුළින් වනාන්තර විනාශ වීම පමණක් නොව අලි ඇතුන් ඇතුළු වන ජීවීන් පවා විනාශ වන බව පෙන්වා දුන්නේය. 
 
යාල රක්ෂිතය වාසභූමිය කරගත් අලි ඇතුන් මේ වනවිට මෙම කැලිකසල ආහාරයට ගැනීම සුලබ දසුනක් වී ඇතැයි ද ඔහු පැවැසීය.