යාපනයේ බිලි පූජා තහනම්


(සිතුම් චතුරංග)
 
යාපනය ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදුකෙරෙන සත්ව බිලි පූජා නොපවත්වන ලෙස  යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලන්චේලියන් මහතා අද (24) තහනම් නියෝගයක් නිකුත් කළේය.
 
සමස්ත ලංකා හින්දු මහා සභාව  යාපනය මහධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
 
යාපනයේ ඇතැම් කෝවිල් තුළ දේව පූජාවන් සඳහා මහා පරිමාණයෙන් සත්ව බිලි පූජාවන් පවත්වන අතර, ඒ තුළින් සත්ව හිංසන හා ඝාතන රැසක් සිදු කරන බව සෛව මහා සභාව පෙත්සම මගින් කරුණු ගොනුකොට තිබිණ.
 
බිලි පූජාවන් සිදු කරන්නේ නම් අදාළ කණ්ඩායම් අත්අඩංගුවට ගන්නා ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අධිකරණ නියෝග යොමුකරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.