යාපනයේ නැවත පදිංචියට ගිය ඉඩමක යුද උපකරණ හමු වෙයි



                      
(රොමේෂ් මධුෂංඛ)

යාපනය මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියකුගේ ඉඩමේ තිබී මෝටාර් බෝම්බ තොගයක් හා කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයා ගත් බව පලාලි පොලීසිය කියයි.

යුද්දය හේතුවෙන් ආරක්ෂක අංශ බාරයේ තිබුණු ඉඩම් යළි මුල් අයිතිකරුවන් වෙත ලබා දීමෙන් පසුව එම ඉඩම් එළිපෙහෙළි කරමින් සිටි වැසියකුට අදාළ මෝටාර් බෝම්බ තොගය හමු වී ඇති අතර පසුව අදාළ ඉඩමේ අයිතිකරු විසින් පලාලි පොලීසියට දැනුම් දී ඇත. 

පසුව පලාලි පොලීසිය විසින් යුද හමුදාවටද දැනුම් දීමෙන් පසුව එම ඉඩමේ තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බොම්බ 7ක් හා කාලතුවක්කු උණ්ඩ 3ක් සොයාගෙන තිබේ.


මෙලෙසින් ඉඩමේ පොළව යටින් මෙවැනි බෝම්බ තවත් මතු වීමට ඉඩ ඇති බැවින් නැවත පදිංචියට ගිය වැසියන්ට අවධානයෙන් සිය ඉඩම් එළිපෙහෙළි කිරීමට කටයුතු කරන ලෙසට ආරක්ෂක අංශ ජනතාව දැනුවත් කර ඇත.

යුද සමයේදී කොටි සංවිධානය ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරන ලද අවස්ථාවේදී පුපුරා නොගිය බෝම්බ හෝ එම සංවිධානය විසින් වල දමන ලද බෝම්බ තිබිය හැකි බවට සැක සහිත බැවින් ජනතාවට පරිස්සම් විය යුතු බවටද දැනුම් දී ඇත.

හමු වූ මෝටාර් බෝම්බ අධිකරණ නියෝගයකින් විනාශ කිරීමට පියවර ගන්නා බවටද පලාලි පොලීසිය වැඩි දුරටත් පැවසීය.