යාපනයේ ගෙවල් බිඳුම් කළ කල්ලියක් අත්අඩංගුවට



 
(සිතුම් චතුරංග)

            
තියුණු ආයුධ රැගෙනවිත් නිවැසියන් බිය ගන්වා උතුරු පළාත තුළ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් රැසක් සිදුකළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් පස්දෙනකු ඊයේ (15) මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 

සැකකරුවන් විසින් නිවාස වලින් සොරාගත් රුපියල් 19 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.

මුහුණු ආවරණය කර තියුණු ආයුධ රැගෙන පැමිණි කණ්ඩායමක් විසින් වවුනියාව ඊච්චන්කුලම ප‍්‍රදේශයේ නිවසක් කොල්ලකා රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් රන්භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් උතුරු පළාතේ විවිධ ප‍්‍රදේශවල සිදුවූ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් සිද්ධීන් හතකට පමණ අවශ්‍ය සැකකරුවන් පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් පස්දෙනා දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිට පැමිණි පිරිසක් බවත් බන්ධනාගාර තුළදී සංවිධානය වී මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බවත්ය.

සැකකරුවන් කොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරු පැදියක්, තියුණු ආයුධ හා යකඩ පොලූ කිහිපයක් අත්අඩංගුවට ගත් අතර විවිධ ප‍්‍රදේශ වලින් සොරාගත් රත‍්‍රං විකුණා ලබාගත් බිල්පත් රැසක්ද සැකකරු සතුව තිබී සොයා ගෙන තිබේ.

කොල්ලකෑම් සිදුකර ලබාගත් මුදල් සැකකරුවන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට හා සූදු ක‍්‍රීඩාවේ යෙදීම සඳහා වියදම් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් , මන්නාරම , ත‍්‍රිකුණාමලය, මාන්කුලම හා වවුනියාව යන ප‍්‍රදේශවල පදිංචි 21 ත් 30 අතර වයසේ පසුවන්නෝ වෙති.