යාපනයේ කල්ලි ගැටුම් ඇරඹෙයි


රොමේෂ් මධුෂංඛ
 
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුළු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධ ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභ හානි රැසක් සිදු කර පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත් අශෝක් කුමාර් නැමත්තාගේ නිවසටත් එම ප්‍රදේශයේම ආවා කල්ලියට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට හා මාණිප්පායි පොලිස් වසමේ අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි ආවා සාමාජිකයකුගේ නිවසටද මෙම ප්‍රහාරයන් එල්ල වී ඇති බවට පොලීසිය පවසයි.


යතුරුපැදි 4 කින් මුහුණ වසාගත් අටදෙනෙකුගෙන් යුත් පිරිසක් කඩු ඇතුළු තියුණු ආයුධ සමඟ පැමිණි මෙම පිරිස් විසින් ඊයේ (29) සවස 5.15 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළදී නිවාස වලට පහරදීම සිදු කර ඇති අතර ස්ථාන හතරේම පිහිටි නිවාස වලට එකම කණ්ඩායම පහර දී ඇති බවට පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.


අදාළ පහරදීමෙන් නිවාස හතරේම කිසිදු පුද්ගලයකුට හානියක් සිදු නොවුණ ද නිවාසයන්හි තිබූ යතුරුපැදි , පාපැදි ,සන්නිවේදන උපකරණ, දොර ජනෙල් , ආදී උපකරණ වෙතට දැඩි හානි සිදුව ඇති බවට අනවාරණය වී ඇත.


ආවා කල්ලියේ අශෝකන් නැමත්තා මේ දිනවල සැඟවී ඇති අතර ඔහු සෙවීමේ පොලිස් පරික්ෂණ සිදුවන අතරවාරයේ මෙම පහරදීම සිදුව ඇති අතර ආවා කල්ලිය හෝ ධනු රොක් කල්ලිය අතර පවතින ගැටුම හේතුවෙන් මෙම පහර දීම ධනු රොක් කල්ලියේ පහරදීමක් බවට පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.