(රොමේෂ් මධුෂංඛ)
යාපනය සරසවියේ කලා අංශයේ සිසුන් 8 දෙනෙකුට පනවන ලද පන්ති තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණද එම සිසුන් වෙනුවෙන් විනය පරික්ෂණයක් සිදු කිරීමට යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
පසුගිය ජනවාරි 11 වැනි දා යාපනය සරසවියේ කලා අංශයේ තුන් වැනි වසරේ සිසුන් විසින් නවක සිසුන්ට නවක වදය දීමට සූදානම් වීමේදී කලා අංශයේ සිව් වැනි වසරේ සිසුන් එයට විරෝධය පෑමත් සමඟ තෙවැනි හා සිව්වැනි වසර සිසුන් අතර ගැටුමක් ඇති වී සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහලගත කැරිණි.
පසුව එම පහර දීමට සමබන්ධ වූ තෙවැනි හා සිව්වැනි වසර සිසුන් 8 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
අදාල සිසුන්ගේ පන්ති තහනමත් සමඟ සිසුන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය දිනයන්හි කලා අංශ සිසුන් සියලු දෙනා පන්ති වර්ජනයක නිරත වූ අතර පසුව ඊයේ (22) දින සිට එම සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරීමට පාලනාධිකරිය කටයුතු කර ඇත.
කෙසේ වෙතත් අදාල සිසුන්ගේ පන්ති තහනම ඉවත් කෙරුණද එම සිසුන් වෙනුවෙන් සිදු කෙරෙන අභ්‍යන්තර විනය පරික්ෂණය සිදු කරන බවටද යාපනය සරසවියේ උපකුලපති ආර්. විග්නේෂ්වරන් මහතා විසින් දැනුම් දී ඇත.

