යාපනය රිට් පෙත්සම විසි කරයි


යාපනය මැතිවරණ බල ප‍්‍රදේශය වෙනුවෙන් තරග කිරීමට තමා ලබාදුන් නාමයෝජනා පත‍්‍රය පිළිගන්නා තෙක්  අගෝස්තු 17 වැනි දා මහා මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමෙන් මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘‘ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’’ ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (24)  ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමද ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අදාළ නාමයෝජනා පත‍්‍රය බාර ගැනීම නීතියට අනුකූලව තේරීම්බාර නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කළ බවටද තීන්දු කළේය.

පාර්ලිමේන්තු මැතිවරණ ආඥා පනතේ 15(3) වගන්තියට අනුකූලවන සේ පෙත්සම්කාර පක්ෂය නිසි නීතිමය අවශ්‍යතා සම්පූර්ණ නොකර ඉදිරිපත් කර ඇති බවද අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.

අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවු අතර  මැතිවරණ කොමසාරිස්වරයා, යාපනය දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරීවරයා, නීතිපතිවරයා ඇතුළු 24 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ තිබිණි.