රොමේෂ් මධුෂංක
යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට දී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියකුට පහරදීමට පැමිණි පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියයාම සම්බන්ධයෙන් මල්ලාකම් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවී තිබේ.
මෙම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.
චුන්නාගම් පොලිස් වසමේ සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් තෙලිප්පලෙයි රෝහල දක්වා ගමන් කර ඇති අතර එහිදී මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.
එම අවස්ථාවේදී එම ගැටුම මැඩලීමට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සහ කර ඇති අතර එහිදී එක් පුද්ගලයකු විසින් පොලිස් නිලධාරීයකුට පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා තිබේ.
එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තබා ඇති බව යාපනය පොලීසිය පවසයි.
අදාළ වෙඩි තැබීම හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි සුදර්ශන් කුලමන්කාල් නැමති 25 හැවිරිදි තරුණයකු රෝහල ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
වෙඩි තැබීමෙන් පසුව මල්ලාකම් ප්‍රදේශවාසීන් විසින් අදාළ වෙඩි තැබීමට විරෝධය පා යාපනය කන්කසන්තුරෙයි මාර්ගය මල්ලාකම් ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වසා දමමින් විරෝධය පල කළ අතර යාපනය රෝහල ඉදිරිපිටද විශාල පිරිසක් රැස්ව විරෝධය දැක්වීම නිසා උණුසුම් වී ඇත.
කෙසේ වෙතත් මේ වන විට මල්ලාකම් මන්සන්ධියට මෙන්ම රෝහල් ඉදිරිපිට ද පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ කිහිපයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.