යාපන සරසවි සිසුවෝ වීදි බසිති


(රොමේෂ් මධුෂංඛ)

රජය පොරොන්දු වූ පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් යාපනය සරසවි සිසුහූ පිරිසක් අද (14) විරෝධතා පාගමනක්  පැවැත්වූහ.

යාපනය සරසවිය ඉදිරියෙන් ආරම්භ වූ එම විරෝධතා පාගමන පලාලි මාර්ගය හරහා ගොස් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් විය.

එහිදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කරන ලෙස ඉල්ලා ඔවුහු යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ලිපියක් භාර දුන්හ.

එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබිණි.