යහපාලනය පෙරට ගන්න : එජාප පෙරමුණ දිනවන්න


රටේ යහපාලනය ඇති කිරීම සඳහා ජනවාරි 8 වැනිදා ඇති කළ වෙනසින් ආරම්භ වූ වැඩපිළිවෙළ දැනට නැවතී ඇති තැන සිට ඉදිරියට ගෙනයාමට නම් යහපාලනය ගෙන ඒමට කටයුතු කළ පිරිසකට එළඹෙන මහමැතිවරණයේ දී ද බලය ලබාදිය යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.

යහපාලනයක් ඇති කිරීමට කැපවී ක‍්‍රියා කළ සියලූ පාර්ශවයන් දැනට සිටින්නේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ බව ද දඹර අමිල හිමියෝ සඳහන්  කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරම්භ කළ ගමන ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට බව පෙනීයන්නේ යැයි ද දඹර අමිල හිමියෝ පවසා සිටියේය.

පසුගිය ජනවාරි 8 වැනිදා තැබූ පියවර ජයග‍්‍රහනයකින් කෙළවර කරගැනීමේ අරමුණ ඇතිව ලබන 17 වැනිදා ඡුන්දය භාවිතා කිරීමට සියලූ දෙනා අදිටන් කරගත යුතු යැයි ද උන් වහන්සේ කීවේය.

අමිල හිමි මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාලයේ දී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යහපාලනය සඳහා වූ භික්‍ෂු සංසදය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

යහපාලනය සඳහා වූ භික්‍ෂු සංසදයේ කැඳවුම්කරු අත්තන්ගනේ ශාසනරතන හිමි, බෝපිටියේ ධම්මිස්සර හිමි, රජවත්තේ වප්ප හිමි, එක්සත් භික්‍ෂු පෙරමුණේ විධායක සභික හා කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක කරකොලේ පියදස්සී හිමියෝ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

web