යට ඇඳුම් පහක් ඇඳලා


රුපියල් කෝටි පහක් වටිනා   කිලෝ 10 ක් බරැති රත්තරන් බිස්කට් තොගයක් යට ඇඳුමේ සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 31 හැවිරිදි බවත්  ඇය වෘත්තියෙන්  ගණකාධිකාරීවරියක් ද වන බවයි. ඇය සතියකට තුන් හතර වතාවක් ඩුබායි හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව විමර්ශණ වලින් හෙළිවී ඇති බවත් ඔහු කීවේය.

මීට දින හතරකට පමණ පෙර ඩුබායි වෙත ගොස් ඇති සැකකාරිය  ෆල්යි ඩුබායි ගුවන් සේවයට අයත්  එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් අද අළුයම 01.10ට පමණ කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට අසු වී තිබේ.

රේගුව පවසන්නේ දීර්ඝ කාලයක සිට රන් ජාවාරම පිළිබඳ කරන ලද විමර්ශණවල ප්‍රථිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කළ  බවයි.

මෙම රන් බිස්කට් පාර්සල් දෙකකට සකස්කොට ඇයගේ ශරීරයේ රහස්  ප්‍රදේශයේ සඟවාගෙන එය නොවැටෙන ලෙස  ඊට උඩින් යට ඇඳුම් පහක්  ඇඳ තිබු බව රේගුව කියයි. එක් පාර්සලයක රන් බිස්කට් 18 ක්ද, අනෙකෙහි 82 ක් ද තිබු බව රේගුව කියයි.

එම එක් රන් බිස්කටයක බර ග්‍රෑම් 100 කි.

රේගුව විසින් එකී තරුණියගෙන් ප්‍රශ්න කරද්දී ඇය පවසා ඇත්තේ ඩුබායි හිදී  නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් මෙම රන් බිස්කට් රුපියල් පන්දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙරටට ගෙන  ආ බවයි.

කෙසේ වෙතත් රේගුව පවසන්නේ එය රේගු අත් අඩංගුවට පත් වන ඕනෑම පුද්ගලයෙකුගේ සුපුරුදු  පිළිතුරක්  බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ප්‍රියන්ත සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන දර්ශණ ශිල්වා, නිමල් තිලක,  නියෝජ්‍ය  රේගු අධිකාරීවරුන් නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, එම්.අයි උදය ගාමිණී, පී.එච්.යු.අයි විජේපාල  සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමංජිත් සහ සහකාර රේගු අධිකාරීවරියන් වන නිලුක්ෂි පතිරණ, එරන්දිකා හබරාදුව  යන නිලධාරීහු සිදු කරති.

 20150610_060545 20150610_060607 20150610_060833

 

20150610_060811 

20150610_06083820150610_060825