යකඩ මංජු පෑලියගොඩදී අත්අඩංගුවට


(බිමල් ශ්‍යමන් ජයසිංහ)

පතාල සාමාජික යකඩ මංජු නැමැත්තා පෑලියගොඩ මීගමුව පාරේ නිවසේදී අද (9) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස තුළ සිදුකළ සෝදිසියකදී  එහි සඟවා තිබූ  අන්සතු ජාතික හැඳුනුම්පත් තොගයක් ඇතුළු තවත් දේපළ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරියෙක් පැවැසීය.

එහි සඟවා තිබූ අන්සතු ජාතික හැඳනුම් පත් 37ක් අන්සතු ගුවන් ගමන් බලපත්‍ර පහක් මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 5ක් , අන්සතු රියදුරු බලපත්‍ර දෙකක්, කඩු දෙකක් හා උල් පිහියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනි අවියක් නිවසේ සඟවා තිබෙන බවට විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව නිවස වටලා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගරාජයේ සඟවා තිබියදී අදාල භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඉකුත් කාලයේ දී පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් මහත් ආන්දොලනයට ලක් වූ දේශපාලඥයෙකු ගේ ආරක්ෂකයෙකු ලෙස මෙම පාතාල සාමාජිකයා ක්‍රියා කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.