මෞත‍්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කරයි


 

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදිකළ මෞත‍්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ විවෘත විය. 
මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
දැඩි සත්කාර ඒකක ඇන් 13 කින් ද සමන්විත මෙම විද්‍යායතන ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 300 කට ආසන්න මුදලක් වැය වී ඇත.
නව මෞත‍්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල විවෘත කළ අග‍්‍රාමාත්‍යවරයා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් වූ බවත් එහි දී ඊ ඒ එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරිම් මහතා සමග සුහද කතාබහක ද නිරතවීමට අමතක නොකල බවත් අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස් එච් මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව් කේ වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.