මෝඩි අගමැති පුටුවට


ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම එරට වේලාවෙන් අද උදෑසන ආරම්භ වූ අතර, උදෑසන 10 වෙද්දී, ලෝක් සභාවේ ආසන 543 න්, ආසන 304 ක් හිමි කර ගත් නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අති විශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කළේය.
ඒ අනුව මෝඩි ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇත.  පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට ආසන 75 ක සීමාවේ සිටි බව ද වාර්තා විය.
මුලින්ම තැපැල් ඡන්ද ගණන් කෙරුණු අතර, ඉන්පසු ගෝව ප‍්‍රාන්තයේ ලෝක් සභා ආසන දෙකෙන් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ලොව දීර්ඝතම මැතිවරණය ලෙස වාර්තා අතරට ද එක් වුණු ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම බොහෝ වශයෙන් සිදු වූයේ ඉලෙක්ට‍්‍රානික ඡන්ද ප‍්‍රකාශන යන්ත‍්‍ර ආධාරයෙනි. එහෙයින් ප‍්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනම් විය.
මැතිවරණ අනාවැකි අනුව භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ආසන 279 ක් හිමිකර ගනු ඇතැයි පැවැසිණි. බහුතර බලය හිමි කර ගැනීමට නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ ආසන 272 ක් පමණි.