(කාංචන කුමාර ආරියදාස / මොහොමඩ් ආසික්)
මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණය ආරම්භ කළහ.
පසුව මැති ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින් එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.
පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.
මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි. මෙම ව්‍යාපෘතිය මගින් කාලාන්තරයක් පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගිය ඝන මීටර් දශ ලක්‌ෂ 818 ක ජලස්‌කන්ධය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් මින්නේරිය, ගිරිතලේ. කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චාදූව වැව, මහකනදරාව වැව යනාදී ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් රැසකට නිකුත් කිරීම ද මෙමගින් සිදුකෙරේ.
මොරගහකන්ද ජලාශයට නමක් ලෙස විවිධ අය විවිධ නම් යෝජනා කළද තමන් ඒ සියලු නම් ප්‍රතික්ෂේප කළ බවත් එම ජලාශය ඉදි කිරීම සඳහා දැඩි කැපවීමක් කළ ඉංජිනේරු ඒ .එන්.එස්. කුලසිංහ මහතාගේ නම යොදා ඉංජිනේරු ඒ.එන්. එස් කුලසිංහ ජාලශය ලෙස නම් කිරීමට තමා යෝජනා කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.









(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)





(ඡායාරූප - ශාන්ත රත්නායක)

